මුල් පිටුව අභිනවයෙන් ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම
මුල් පිටුව අභිනවයෙන් ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම

අභිනවයෙන් ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම

ශ්‍රී ලාංකීය මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිම් වළලු පුළුල් කරමින් රත්නපුර දෙමුවාවත අන්තර්ජාතික මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය නුදුරේදීම ජනතා අයිතියට.

“මැණික් දූපත” ලෙස ගෝලීය වශයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

2024 අප්‍රේල් 4 දින පෙ.ව. 10.00 ට සුභ මොහොතින් ජනතා අයිතියට පත්වන මෙම වෙළෙඳ මධ්‍යස්ථානය ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ නව ගමන් මගක් සනිටුහන් කරනු ලබයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වර්ධනය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ කැපවීම අවධාරණය කරයි.

එකම වහලක් යටින් පුළුල් පරාසයක සේවා සහ පහසුකම් පිරිනැමීම සඳහා නිර්මාණය කර ඇති මැණික් සහ ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානය දේශීය මෙන්ම ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් වනු ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙහි දක්වා ඇති පරිදි, ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වර්ග අඩි 17,550 ක බිම් ප්‍රමාණයකින් යුත් මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් , රුපියල් මිලියන 365 ක ආයෝජනයක් යටතේ නිමකර ඇති අතර ආරම්භක ව්‍යුහයට යාබදව නවීන 14-මහල් ගොඩනැගිල්ලක් සංවර්ධනය කිරීම ඇතුළුව පසුකාලීන අදියර තවදුරටත් පුළුල් වනු ඇත.

  • මැණික් සහ ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පහසුකම් සහ සේවාවන් යටතේ,
  • මැණික් හා ස්වර්ණාභරණ අපනයන සේවා
  • මැණික් පරීක්ෂණ සහ සහතික කිරීමේ රසායනාගාර පහසුකම්
  • බැංකු සහ මුදල් හුවමාරු පහසුකම්
  • කුරියර් සහ තැපැල් සේවා
  • තොරතුරු පහසුකම්
  • පුළුල් වාහන නැවැත්වීමේ පහසුකම්
  • ආපනශාලා පහසුකම්
  • රක්ෂණ සේවාවන් ලබා දෙනු ඇත.

මෙම අන්තර්ජාතික මධ්‍යස්ථානය මැණික් වෙළඳාම් ක්‍රියාවලිය විධිමත් කිරීම, ව්‍යාපාරික ගනුදෙනු සඳහා හිතකර පරිසරයක් සැපයීම සහ කර්මාන්ත වෘත්තිකයන් සඳහා අවස්ථා වර්ධනය කිරීම අරමුණු කරයි.

මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා මෙම සන්ධිස්ථානයේ වැදගත්කම ඔහුගේ පැමිණීම තුළින් අවධාරණය කරනු ලබයි.

මෙම මැණික් සහ ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා තබනු ලබන සුවිශේෂී පියවරක් වනු ඇත.